Spread the love

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට තමාට අවශ්‍ය බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

2025 වසරේ සිට මෙරට ආර්ථිකය ඉහළ නැංවීම සඳහා සිදුකෙරෙන ක්‍රියාවලියේ මූලික අඩිතාලම ලෙස මෙම අයවැය හැදින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.

තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවය.

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම බවත් දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමෙන් අනතුරුව බවත් ජනාධිපතිවරයා කියා සිටියේය