Spread the love
 

හදපු ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති අතර තිබෙන ප්‍රතිපත්තිමය පරස්පරතාවය අද මේ රටේ මහජනයා ඉතා සියුම් ලෙස තේරුම් අරගනිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,
“සමස්ථ රටවැසියාටම මේ නව වසර සියලු බලා‍පොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වන්න කියා ඉතාම ආදරයෙන් ප්‍රාර්ථනා කරන්න කැමති.
2025 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ ප්‍රමුඛ අභිලාෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතවතාවක් මේ රටේ ඉතාම ජවසම්පන්න දැවැන්ත දේශපාලන ව්‍යාපාරය විදිහට යළි ගොඩනැගීම. ඒ සඳහා වන සියලුම කාරණා පිළිබඳව අපි පහුගිය කාලසීමාව තුළ අධ්‍යනය කළා. අපේ හැකියාවන් අපි තේරුම් ගත්තා. අපිට වැරදුණු තැන් වටහා ගත්තා. ඒ වගේම අප විසින් දියුණු කරගතයුතු තැන් තේරුම් ගත්තා. මේ සියලු තේරුම් ගැනීම් එක්ක ඉතාම විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිබල ගැන්වීම තමයි 2025 අවුරුද්දේ අපේ ප්‍රමුඛ අභිලාෂය බවට පත්වෙලා තිබෙන්නේ. ඒ වෙනුවෙන් සියලුදෙනා අපේ පෞද්ගලික ජිවිතවල තිබෙන අරමුණු පසෙකලා මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ දේශපාලන ව්‍යාපාරය නැවුම් සමාජ බලවේගයක් විදිහට යළි ගොඩනැගීම වෙනුවෙන් අපි සියලු කැපකිරීම් කරලා ඉදිරියට යන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩි දුරටත් පැවසුවේය.