Spread the love


නිමල් රාජපක්ෂ-

අලුත් අවුරුදු සමයේ දිවයින පුරා සිදුකල නිති විරෝධී මත්පැන් වැටලීම් වලදි රුපියල් මිලියන 9.5 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 1915 දෙනෙකු සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට‍ ගෙන ඇත.
මීට අමතරව අදාල කාලසීමාව තුළ බලපත්‍ර ලත් හෝටල් ,ආපනශාලා , රටබීම හල්වල සිදු කළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා 216 ලබා දී ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්)කපිල කුමාරසිංහ මහතා පවසයි.

සිංහල හා හින්දු අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා අප්‍රියෙල් මස 7 වන දින සිට 24 වැනි දින දක්වා වු කාලය තුළ ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයක‍ට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත. මෙහිදි සුරාබදු ස්ථාන 57ක හා සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශ 05ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් ද සාර්ථක වැටලීම් න් සිදු කර තිබිණ‍

මෙම වැටලීම් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව සෘජුව සහ 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකොට තිබිණ.
සුරාබදු අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, oicoptroom@excise.gov.lk විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බව ද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.