Spread the love

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බැවින් ගම්මානයේ පවුල් තිහක් සිය නිවාස වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරතිබේ.

වැලි කොට්ට යොදා ජල කාන්දුව පාලනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, යුද හමුදාව සහ ගම්වාසීන් උත්සාහ කළද තත්ත්වය පාලනය කිරීමට තවමත් හැකිව නොමැත.  

අවදානම් තත්ත්වයේ සිටින පවුල් රැසක්ම ගම්මානයෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ මෙම ජල කාන්දුව ඇතිව තිබුණි.

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.කේ. ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7200ක් වුවත් පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග වාරිමාර්ග ඔස්සේ ජලාශයට වැඩි ජල ප්‍රමාණයක් එක් රැස්ව ඇති බවයි. 

කලක සිට පැවති කුඩා ජල කාන්දුවක් මෙලෙස වර්ධනය වී පස් බැම්ම කඩාවැටී ඇති බවට ගම්වාසීන් පවසයි. 

ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක පමණ ගැඹුරින් යුතු අතර මේ හේතුවෙන් එම ස්ථානයේ ජල පීඩනයද ඉහළ මට්ටමක පවති.

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ පිහිටි දිවුල්වැව මහා විදුහල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

එමෙන්ම දුටුවැව සිට යකල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද සීමා කර ඇත්තේ වැව කැඩීයාමේ අවදානම හේතුවෙනි. 

පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යුද හමුදාව, පොලිසිය හා ගම්වාසීන්ගේද සහාය ඇතිව ජල කාන්දුව වසාදැමීමට අද දහවල් සිට දැඩි උත්සාහයක නිරත විය. 

ජලාශයේ පිට වානට යොදා ඇති කොන්ක්‍රීට් බැම්ම බිද දමා වැඩි ජලය පිටකිරීමට කටයුතු කර තිබේ.  

වැලි කොට්ට යොදමින් පස් බැම්මේ බිඳීගිය ස්ථානය වසා දැමීමට පියවර ගත්තද එය සාර්ථක වී නොමැත. 

අඛණ්ඩව ජලය කාන්දුවීමෙන් වැව් බැම්ම මේ වනවිට පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ යම් හෙයකින් වැව් බැම්ම බිඳීගියහොත් ගම්මාන රැසකටම බලපෑම් එල්ල විය හැකි බවය.