Spread the love

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.  ඒ සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් දහස් ගණනක්  කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි. ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණි.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනය විසිනි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණි. නමුත් ඉකුත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදී   මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරිණි.

මෙවන් පසුබිමක එලෙස ඉදිකිරීම් අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇත්තේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ජපාන නිල සංචාරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙසිනි.

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද, සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. උපායමාර්ගික වැදගත් ස්ථානයන් වන කොටුව, පුරහල, ජාතික රෝහල, බොරැල්ල මෙන්ම බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවා ඇති සෙත්සිරිපාය, බත්තරමුල්ල සහ මාලබේ යන ප්‍රදේශ මෙම දුම්රිය මාර්ගය මගින් සම්බන්ධ කිරීමට නියමිතව තිබූ අතර දුම්රියපොළවල් 16ක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර ඒවා පහත පරිදි වනවා.

  1. කොටුව
  2. ප්‍රවාහන මධ්‍යස්ථානය
  3. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල
  4. ජාතික රෝහල අසළ
  5. බොරැල්ල
  6. කොටා පාර
  7. රාජගිරිය
  8. වැලිකඩ
  9. සෙත්සිරිපාය
  10. බත්තරමුල්ල
  11. පාලම් තුන
  12. රොබට් ගුණවර්ධන මාවත
  13. ලුම්බිණි පන්සල
  14. තලාහේන
  15. මාලබේ
  16. මාලබේ තාක්ෂණ උද්‍යානය

ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය මෙලෙස ඒකපාර්ශ්විකව අවලංගු කිරීම නිසා රුපියල් කෝටි 597ක මූල්‍යමය අලාභයක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා පෙන්වා දුන්නේය.

එසේම මෙම දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට අදාළ මූලික කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇති බව  එම විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ. ඒසම්බන්ධධයෙන් පළවු පුවතක් ‌පහත දැක්වේ