Spread the love

ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස අරක්කු මුදලාලිලා හා සීනි හොරුන් දේශපාලඥයන් අතකොලු කරගෙන තමන්ව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබූ රාජාසන කතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීන් හා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වර්ජනය කරන අවස්ථාවේදී තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් සභා ගැබේ රැදී සිටීම මුල් කරගනිමින් බව පාඨලී චම්පික රණවක මහතා හෙළිකරයි.

“පසුගියදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා රාජාසන කතාව කරන්න. කතාව ආරම්භ කරන කොටම වගේ, විපක්ෂ නායකතුමයි, විපක්ෂයේ සංවිධායක කිරිඇල්ල මහත්තයයි, නැගිටලා ගියා. ඊට පහුවෙනිදා, මේ රාජාසන කතාවට විවාද තිබුණා. විවාදයට මමත් වෙලාවක් ඉල්ලලා තිබුණා. මට වෙලාවක් තිබෙන බව ඊට කලින් දවසේ මට දැනුම් දුන්නා. නමුත් මට එදා දැනුම් දුන්නා මගේ කතාව කපලා කියලා. මම කිරිඇල්ල මහත්තයාට කතා කරලා ඇහුවා, ඇයි කතාව කැපුවේ කියලා. කිරිඇල්ල මහත්මයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට වාඩිවෙලා හිටපු අයට කතා දෙන්න එපා කියලා නායකතුමා කිව්වායි කියලා. නායකතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මං කිව්වා ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නේ? අපි වෙන පක්ෂයක්. මම ස්වාධීන මන්ත්‍රී කෙනෙක්. එහෙම කරන්න බෑ කියලා. මං කිව්වා අඩු තරමින් ඇයි අපිට පණිවිඩයක්වත්, දුරකතනෙන්වත් දැනුම් දුන්නේ නැත්තේ අපි මේක වර්ජනය කරනවා කියලා. එතුමා කිවා ඉතින් නායකයා නැගිටලා යන කොට දැනගන්න ඕනේ පස්සෙන් එන්න කියලා. ඉතින් මම කියන්න ඕනේ කාගෙවත් එහෙයියෝ වෙන්න අපි සූදානම් නැහැ.”