Spread the love

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා අද (21) එම අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළේය.
පරිපාලන සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ‍ලේකම් තනතුරට පත්වීමට පෙර ගම්පහ දිසාපතිවරයා ලෙස සේවය කරනු ලැබීය.
ගාල්ල/ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා කෙටි කලක් එම විද්‍යාලයේම ගුරුවරයකු ලෙසද රාජකාරි කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විශේෂවේදී උපාධිධාරියකු වන සත්‍යානන්ද මහතා ඕස්ට්‍රේලියාවේ ලාරොබ් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබාගෙන තිබේ.
1998 වසරේදී පරිපාලන සේවයට එක්වූ සත්‍යානන්ද මහතා තවලම, බද්දෙගම, හික්කඩුව හා ගාල්ල කඩවත් සතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස සේවය කර ඇත.
එමෙන්ම වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ සහකාර ලේකම්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඔහු මීට පෙර සේවය කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරුන් ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති අනෙකුත් ආයතනවල සභාපතිවරුන් අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.