Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන බවත්, අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස අපට පසුගිය වසරේ සිට විශාල කාර්යභාරයක් පැවරී තිබුණා. පසුගිය සමයේ ඇති වූ යම් යම් සිදුවීම් නිසා ඇතැම් විදෙස් රටවල් සමඟ අපේ සම්බන්ධතා පළුදුව තිබුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙනවා. ඒ වගේම අද ශ්‍රී ලංකාව ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටිනවා.