Spread the love


නිමල් රාජපක්ෂ-

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම තරම් විහිළුවක් තවත් නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කතෝලික ජනතාව මරදැමූ ජවිපෙට මෙවර කෙතෝලික ඡන්ද ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදා දීම නිමිත්තෙන් අද(21) කැලණියේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය

ප්‍රශ්නය- ⁣ඡන්දය කිට්ටු නිසාද සහල් බෙදන්නෙ?

පිලිතුර- පහුගිය කාලේ අපේ රටෙි සහල් අතිරික්තයක් තිබුණා.ඒ නිසා රජය වී මිල පාලනය කරන්න දිසාපතිවරු හරහා වී මිලදී ගත්තා. ඒ ගොවීන්ට සහනයක් ලබාදෙන්නයි. කොවිඩ් හා අරගලයනිසා අපිට අවුරුද්ද,නත්තල සමරන්න බැරිවුණා. නමුත් දැන් ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවරයි. එහෙම වුණේ ජනතාව කැපකිරීම් කරපු නිසා.වැඩිම කැපකිරීම් කලේ අඩු ආදායම්ලාභීන්. සුබසාධන කටයුතු කරන්න එපා කියල ජාත්‍යන්තර සංවිධාන කියල තියෙද්දිත් ජනාධිපති ඒ සුබසාධන කටයුතු කරනවා.

ප්‍රශ්නය- පාස්කු ප්‍රහාරය⁣ට අදට අවුරුදු 5යි. ජනතා විමුක්ති පෙරමුණ පොරොන්දු වෙලාතියෙනව ඒ ගැන පරීක්ෂණ පවත්වනව කියලා?

පිලිතුර- ඒකෙ මහ⁣මොළ කාරය කවුද කියන්න හැමෝම දන්නව.ජ.වි.පෙ එහෙම පොරොන්දු දීපු එක හොඳයි. මොකද එයාලගෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම්ගේ පුත්තු තුන්දෙනා තමයි මරාගෙන මැරැණෙ. ඒක ගැන කමිටු පත්කරලා පරීක්ෂණ පවත්වල කාලය කන්න දෙයක් නෑ. තවම ඊබ්‍රාහිම් ජීවතුන් අතර ඉන්නවා.එයාගෙන් අහන්න ඕන ඇයි පුතාල මේ වගේ දෙයක් කළේ කියල. ඒක රටට කිව්වනමි ඉවරයි.පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම තරම් විහිළුවක් මේ රටේ තවත් නෑ.

ප්‍රශ්නය- ඔබතුමන්ලට කතෝලික ඡන්ද මල්ල ලැබෙන කොට ඔහොම කිව්වේ නෑ. මෙවර ඒ ඡන්ද මල්ල ලැබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට?

පිලිතුර- කතෝලික අය මරන්න ආවේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම්ගෙ පුතාල. එහෙම එකේ ජවිපෙට කතෝලික ඡන්ද ලැබෙයිද.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නෙ?

පිලිතුර- මම අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. මෛත්‍රීපාල සිරිසේන ගැන මම මීට කලින් කතා කළා.එදා මම කියපුව අද ඇත්ත වෙලා තිබෙනවා.

ප්‍රශ්නය-ඔබ තුමන්ලා ශ්‍රී .ල.නි.පයේ බලය අල්ලනවද?

පිලිතුර-අපිට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය ජනතාව රැක ගන්නයි.

ප්‍රශ්නය- ජනාධිපතිවරණයට චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් වෙනවලු. ඒ ගැන මොකද කියන්නේ?

පිලිතුර- හිටපු රාජ්‍ය නායකයන් රටට මේවයක් කළා. චන්ද්‍රිකා මැතිණිය සුනාමි ව්‍යවසනයට මුහුණ දුන්නා. මහින්ද මහත්තය යුද්ධයයෙන් රට බේර ගත්තා. ගෝඨාභය ජනාධිපතිතුමා කොවිඩ් වලින් ජනතාව බෙිර ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික අර්බුධයෙන් රටත් ජනතාවත් ⁣බේර ගන්න කටයුතු කරමින් ඉන්නවා. හැබැයි කෑගහන ජනතා විමුක්ති පෙරමුණේ නායකයො එක එක ආණ්ඩුවලට මුක්කු ගැහුව්වා. රටට කරපු සේවයක් කියන්න.

ප්‍රශ්නය- හාල් කිලෝ 10කට 69 ලක්ෂයේ ඡන්ද කුට්ටිය රැක ගන්න පුළුවන් වෙයිද?

පිලිතුර- අපි ඡන්ද බලාගෙනකරන වැඩක් නෙවෙයි. මෙතන හැම දේශපාලන මතවාදයක්ම දරණ අය ඉන්නවා. බඩු බෙදුවට මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ. මිනිස්සු රනිල් වික්‍රමසිංහ මහතා තෝරගෙන ඉන්නෙ. ඒ ආර්ථික අර්බුධයෙන් රට බේරගන්න ඔහුට පුළුවන් නිසා.