Spread the love

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද රාත්‍රියේ නිවසට රැගෙන ඒමට නියමිතයි

කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා රත්නායක මහත්මිය සාත්තු සේවිකාවක ලෙස ඊශ්‍රායලයේ සේවය කරද්දී ඊශ්‍රායලයේ පැවැති යුධ ගැටුම් හේතුවෙන් මිය ගොස් තිබේ. ඇයගේ දේහය අද පෙරවරුවේ දිවයිනට රැගෙන විත් තිබිණ.

ඇය මෙම සිද්ධියට මුහුණදෙන විට සේවය කරමින් තිබුණේ, ගාසා සහ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයකය.

පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් කෘෂිකාර්මික ගම්මානයක් වූ මෙම ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනු ලැබීය.එම ප්‍රහාරයෙන් අනතුරුව අනුලා රත්නායක මහත්මිය මියගිය බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය තහවුරු කළේ ඉන් දින කිහිපයකට පසුව ය.මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක මහත්මිය දෙදරු මවකි.

ඊශ්‍රායල අධිකරණ වෛද්‍යවරුන් ඇයගේ ඥාතීන්ගෙන් DNA පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටියේ, දේහය ඇයගේම දැයි තහවුරු කරගැනීම සඳහාය.පසුව ඇයගේ දේහය, ඥාතීන් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හඳුනාගත්තේය.ඊශ්‍රාලයේදී අනුලා මහත්මිය සාත්තු කළ එටී මොරාඩෝ අනුලාගේ මරණය පිළිබඳ සංවේදී වෙමින් පවසා ඇත්තේ, ඇස් නොපෙනෙන තමන්ට අනුලා ඇසක් වූ බවය.

‍ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමට කටයුතු කළේ ඉන් අනතුරුවය.ඒ අනුව ඇයගේ දේහය ඊශ්‍රායලයේ සිට අද උදෑසන 9.45 ට පමණ මෙරටට රැගෙන ආවේය.

මේ අවස්ථාවට අනුලා මහත්මියගේ ස්වාමි පුරුෂයා, දියණිය, පුත්‍රයා සහ ඥාතීන් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද පැමිණ තිබුණි.අනුලා රත්නායක මහත්මියගේ දේහය අද දහවල් පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබුණි.

දේහය අද රාත්‍රියේ කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතය.