Spread the love

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මුදල් වැයකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

2022 වර්ෂයට අදාළ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක ඒ බව සඳහන් වෙයි.

ඒ අනුව අදාළ වර්ෂයේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා සඳහා රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත.

ප්‍රසාද දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 07කට ආසන්න මුදලක් සහ වෙනත් දීමනා සඳහා රුපියල් කෝටි 54කට වැඩි මුදලක් වැය කර ඇති බව එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල පාලනාධිකාරිය පවසා ඇත්තේ ඉහත දීමනා සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලු බවය.

එමෙන්ම අදාළ වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වු අවස්ථාවේ දී ආයෝජන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බව යෝජනාවී ඇති බව සඳහන්ය.