Spread the love

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පවතින බාධක මෙමගින් දුරුවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

වරිපනම් බදු ඇතුලුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාල ගත කිරීමේ වැඩසටහන අකුරණ ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කරමින් පසුගියදා පැවැති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මහජන බැංකුව හා එක්ව මෙම වැඩසටහ ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය සභාවේ බදු ඇතුලු සියලු ගෙවීම් මාර්ගත ක්‍රමයට සිදුකිරීමේ හැකියාව මෙමගින් සිදුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පළාත් පාලන ආයතන 346ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඉදිරි වර්ෂයේ මාර්තු මාසය වන විට සියලුම පළාත් පාලන ආයතන තුළ අන්තර්ජාල ගෙවීම් සිදුකළ හැකි යැයි පෙන්වා දුන්නේය.

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන අතර ලිපි හුවමාරුවන කාලය තුළ දී ඉදිකිරීම් සිදුවන බවත් ඒවා ඉවත් කිරීමේ තීරණ ගැනීමේදී පවුල් පිටින් එහි පදිංචිවී සිටීම නිසා ගැටලු රැසක් මතුවන බව ඒ මහතා පෙන්වා දුන්නේය. නිරත්තරයෙන් ගං වතුරට යටවන අකුරණ නගරය නිරීක්ෂණය කිරීමේදී වරද කොතනදැයි පැහැදිලිව අවබෝධ වන බව කී ඒ මහතා පළාත් පාලන පනත සංශෝධනය කිරීම මගින් යළි එවැනි වැරදි සිදු නොවනු ඇතැයි ද කීවේය.