Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් ඉදිරි පැය 24 අවදානම් තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මේ වනවිට පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

එසේම තලගහගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම ගැන අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා වර්ධනයවී ඇති අතර අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතියි.

ගිං ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින අතර එය බද්දේගම සහ තවලම ප්‍රදේශවලින් අධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.