Spread the love

09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා නියම කලහ.

මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි.

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියව මව සන්තකයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවලට ඒකී සිරදඬුවම් නියම කෙරුණි.

මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නම් විත්තිකරුවට නියෝග කෙරුණි.

එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හයාමාරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

2022.05.27 වනදා නිවස ආසන්නයේ වෙළෙඳසැලකය ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී දූෂණය කිරීමේ අරමුණින් දැරියව රවටා අවට පිහිටි ලඳු කැළෑවකට රැගෙන ගොස් තිබුණි.

පසුව විත්තිකරු දැරියව දූෂණය කිරීමට උත්සාහ දරා ඇතත් දැරියගේ කෑගැසීම නිසා බියට පත් විත්තිකරු දැරියව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවත් දැරිය දූෂණයට ලක්වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විත්තිකරු දැරියගේ පියාගේ මිතුරෙකු බවත් නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙක් බැවින් දැරිය කිසිදු බියකින් තොරව විත්තිකරු සමග ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.