Spread the love


නිමල් රාජපක්ෂ-

තෙප්පම් ධීවර කර්මාන්තයට වෙනම ප්‍රදේශයක් ලබා දීමටත් එක්ප්‍රස්පර්ල් නෞකාවේ හානියෙන් අගතියට පත් හා අසාධාරණයට පත් වු වන්දි නොලැබු ධීවරයන්ට කඩිනමින් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.

හලාවත, මීගමුව ප්‍රදේශවල සිදුකරන ධීවර කර්මාන්තයේ පවතින අඩුපාඩු සොයාබැලීම සදහා පෙරේදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.ධීවර කාර්මිකයන්ට පවතින ගැටලු එම ප්‍රදේශවලට ගොස් සොයා බලා කඩිනම් විසදුම් ලබාදීම මෙම සංචාරයේ අරමුණ විය.

මෙහිදි මීගමුව කළපුව හා තෙප්පම් ධීවර කාර්මිකයන්ට පවතින ගැටලු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළ අතර එහිදි ඔවුන් පවසා සිටියේ තෙප්පම් යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන සුලු පන්න ධීවරයන් නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවක් වනුවේ යාන්ත්‍රික එංජින් බෝට්ටු ධාවනය කිරීමේදි තම දැල් එංජින් වලට පැටලී හානියට පත්වන බවයි.

තමන්ට එදිනෙදා ජීවන උපාය සොයා ගැනීමට නොහැකි වන බැවින් තෙප්පන් ධීවරයන් සදහා වෙරළේ සිට 2 කී.මී සීමාවක් වෙන්කර දිමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටි ධීවරයන් එක්ප්‍රස්පර්ල් නෞකාවෙන් හානියට පත් ධීවරයන්ට තවමත් වන්දි ලබා දීම ප්‍රමාද වී ඇති අතර එයද කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙහිදි ධීවරයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදි.


මෙහිදි අමාත්‍යවරයා පවසා සිටියේ තෙප්පන් ධීවර කාර්මිකයන්ගේ ගැටලුව පිළිබදව මීට පෙර කිසිදු ඉල්ලීමක් සිදු නොවුණු අතර මෙම ගැටලුව පිළිබදව ධීවර දෙපාර්තමෙන්තුවේ අදාළ නිලධාරීන් යොදවා අධීක්ෂණය කර තෙප්පන් ධීවරයන්ට සාධාරණයක් ඉටු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි. තවද එක්ප්‍රස්පර්ල් නෞකාවේ හානියෙන් අගතියට පත් බොහෝ ධීවරයන්ට වන්දි ලබාදීම සිදුකර ඇති බවත්, එසේ නොලැබුණ හෝ අසාධාරණයට ලක් වුවන් සොයා බලා කඩිනමින් ඔවුන් ගේ ගැටළුව විසඳාලීමට කටයුතු සිදු කරන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.