Spread the love

මෙරට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් සිදු කළ පර්යේෂණ මේ වන විට ඉතාමත් සාර්ථක වී තිබේ.

මේ වනවිට එම දෙළුම් ප්‍රභේද දෙක නොරොච්චෝලෙයි ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර එම ප්‍රභේද දෙක මගින් ඉහළ අස්වැන්නක් මෙන්ම ගොවීන්ට හොඳ ආදායමක් උපයා ගත හැකි බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නොරොච්චෝලේ වගා කර ඇති එම දෙළුම් ප්‍රභේද වගාව නිරීක්ෂණය කළේය.

අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 60ක පමණ ආදායමක් මෙම දෙළුම් වගාව මගින් ගොවියෙකුට උපයා ගත හැකි අතර එක් දෙළුම් ගසක ආයු කාලය වසර 30ක් පමණ වේ.

දැනට මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීම සදහා උචිත ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරේ. එමෙන්ම මෙම නව ප්‍රභේද දෙක නිර්දේශ කිරීම ඉදිරි මාසයක කාලයක් තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නිදහස් කිරීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දුන්නාය.
මෙම නව ප්‍රභේද දෙක සදහා මෙතෙක් නාමකරණය කර නැති අතර බෝග නිදහස් කිරීමේ කමිටුවේ නිර්දේශ ලද වහාම එම නව දෙළුම් ප්‍රභේද දෙක සඳහා නම් තැබීමට නියමිතය.
මෙම ප්‍රභේද දෙකම ඉතාමත් ඉමිහිරි රසයකින් යුක්ත අතර පාරිභොගිකයින් ආකර්ශනය සඳහා සුදුසු වර්ණයකින් ද සමන්විතය.

එමෙන්ම එක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි අතර අවුරුද්ද පුරාම ඵල හට ගැනීම ද සුවිශේෂිතය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා

වසරකට මෙරටට දෙළුම් ආනයනය සඳහා රුපියල් මිලියන 900ක් පමණ වැය වෙනවා. අපේ රටට බොහෝ විට දෙළුම් ඉන්දියාවෙන් හා වෙනත් රටවලිවලින් ආනයනය කරනවා. නමුත් දැන් අපේ රටට නැවත දෙළුම් ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතාමත් මිහිරි රසයකින් හා හැඩකාර දෙළුම් වර්ග දෙකක් අපි ලබන වසරේ සිට මෙරට වගාවට හඳුන්වා දෙනවා. දැනට මෙම ප්‍රභේද දෙක වගා කර ඇති අතර එම පර්යේෂණ ඉතා සාර්ථකයි.

දෙළුම් සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා මෙම නොරොච්චෝලේ ප්‍රදේශය මෙම දෙළුම් වගාවට ඉතාමත් යෝග්‍ය බව පෙනෙනවා. පුද්ගලික අංශය මගිනුත් දැනට මේවා වගා කර තිබෙනවා.

අපේ රටේ කෘෂි විද්‍යාඥයින් අනෙක් රටවලට නොදෙවෙනිව තම පර්යේෂණ සාර්ථකත්වය පෙන්වා දී තිබෙනවා. එමනිසා ලබන වසරේ මුල් කාර්තුව තුළ මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීමට සුදුසු ප්‍රදේශ හඳුනාගෙන එම ගොවීන්ට වගා කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා.