Spread the love

බළපිටිය, වලගෙදර ‘රිවර් හවුස්’ හෝටලයෙන් රුපියල් ලක්ෂ 04 කට ආසන්න වටිනාකමකින් යුත් දේශීය විදේශීය මත්පැන් හා වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් සොරකම් කරන ලද එම හෝටලයේම සේවකයෙකු අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

හෝටලයේ කළමණාකරු අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

2024 ජනවාරි මාසයේ සිට අප්‍රේල් 01 දින දක්වා කිසියම් අයෙකු වරින් වර හෝටලයෙන් දේශීය හා විදේශීය මත්පැන් සොරකම් කර තිබෙන බව හෝටල් කළමණාකාරිත්වයට අප්‍රේල් 01 දින සිදුකරන ලද විගණන පරීක්ෂණයකින් හෙලිදරව් වී තිබූ බව පැමිණිලිකරු විසින් අම්බලන්ගොඩ පොලීසියට ප්‍රකාශ කර තිබේ.

හෝටල් කළමණාකාරිත්වය මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඇති අතර විස්කි බෝතල් 02 ක් සැකකරු විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන එදිනම අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අම්බලන්ගොඩ පොලීසිය මෙම හෝටලයෙන් අතුරුන්ව තිබූ වර්ණ රූපවාහිනී යන්ත්‍රයද සැකකරු විසින් සොරකම් කර තිබෙන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම රූපවාහිනී යන්ත්‍රය සැකකරු සමග ගොස් බළපිටිය, වලගෙදර පදිංචි සකකරුගේ පෙම්වතියගේ නිවසේ තිබී සොයා ගෙන ඇත.