Spread the love

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබු බීජ අර්තාපල් තොගයක දිලීර හට ගැනීම නිසා ඒවා ගොවි ජනතාවට නොමිලයේ වගාව සඳහා බෙදා දීමට නොහැකි වීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට විමර්ශනයක් සිදු කරන ලෙස දන්වනු ලැබීය.

ඒ අනුව මෙම බීජ අර්තාපල් නරක් වීමට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරාම යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව නිසා ගබඩාව තුළට ජලය කාන්දු වීම නිසා බව ද අනාවරණය විය.

මෙම බීජ අර්තාපල් තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කර ඇති අතර පුද්ගලික සමාගමක් මගින් ඒවා ආනයනය කර තිබේ.

යාපනයේ අර්තාපල් වගා කරන ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට මෙම මෙට්‍රික් ටොන් 20ක් පමණ වන බීජ අර්තාපල් තොගය එහි ගබඩා කර තිබිනි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10කි.

කෙසේ වුවද මෙම නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට වගාවට සුදුසු අමතර බීජ අර්තාපල් තොගයක් නොමිලයේම ලබා දීමට අදාල සමාගම ඊයේ (28) එකඟත්වය පළ කළ බව කෘෂි අංශ නව්‍යකරණ අංශයේ නිලධාරිහු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙනු ලැබීය. එම තොගය ලැබුනු වහාම ඒවා ගොවීන් අතර බෙදා දීමට කටයුතු යොදා ඇති බව ද කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතියේ නිලධාරිහු පැවසූහ.