Spread the love

දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පැවැසීය .

ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණහොත් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට කඩිනමින් අදාළ ඖෂධ ඇනවුම් ලබා දීමට කටයුතු කරනා බවයි.

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේප විය.

මෙතෙක් කල් ඖෂධ ලබාගත් දේශීය නිෂ්පාදකයින්ට අමතරව නව දේශීය නිෂ්පාදකයින් ඖෂධ ලබා ගැනීම සඳහා ඇතුළත් කිරීමට අමාත්‍යංශය ගත් තිරණය නිසා අර්බුදයක් නිර්මාණය විය .

ඒ අනුව නව දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා අදාළ සංදේශය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට මෙසේ කටයුතු කළේය .

කෙසේ වුවවද ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයින්ට තොග ඇනවුම් මෙතෙක් ලබා නොදීම නිසා ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි .

කෙසේ වුවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බවද වාර්තා වෙයි .