Spread the love

නිමල් රාජපක්ෂ-

මෙරට වෛද්‍ය සැපයීම් සහ ඖෂධ පිළිබද කාරණය එහි ප්‍රධානතම කරුණක් බවත්, මෙරට ඇති වූ සුවිශේෂ තත්ත්වයන් සමග හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සිදු වූ නමුත් ඇති වූ ගැටළු සමහරක් සමග හදිසි මිලදී ගැනීම් මේ වනවිට සම්පූර්ණයෙන් නවතා තිබෙන බව ද පැවැසීය. වෛද්‍ය සැපයීම් පිළිබදව ප්‍රසම්පාදන කටයුතු වඩාත් යථාවත් කොට‌ විනිවිදසුළු භාවයෙන් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගතවන බැවින් ඒ පිළිබදව විශ්වාසය තබන ලෙස ද ඉල්ලා සිටින බවද සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.


මේ පිළිබදව රජය මෙන්ම සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බහුපාර්ශ්විය ආයතන, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුලු ආයතන රැසක් අපට උදව් කිරීමට ඉදිරිපත්ව තිබෙනවා. වෛද්‍ය සැපයුම් අංශයට වගේම ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. එහි කටයුතු යථාවත් කිරීමට එතුමන් කටයුතු කරනු ලබනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තිබුන ප්‍රධාන ගැටළුවක් වන ඖෂධ නියාමන අධිකාරිය පමණක් නොව ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරය වැඩිදියුණු කිරිමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා අයවැය කථාවේ දී සදහන් කළා මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බව. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය වැඩිදියුණු කිරිමට, ධාරිතාවය වැඩි කිරිමට, වඩාත් නිවැරදිව ඖෂධ පිළිබද පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුතලය සකස් කිරිමට කටයුතු කරන බව සදහන් කරනවා. එමෙන්ම පසුගිය කාලය තුල සෞඛ්‍ය සේවාවට සම්බන්ධ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුනා. ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු මෙන්ම ආර්ථික ගැටළු ගණනාවක් තිබෙනවා. පවතින තත්ත්වයන් යටතේ හැකි අයුරින් ආර්ථීක ප්‍රතිලාභ ජනතාවට ලබාදිමට අයවැය මගින් කටයුතු කර තිබෙනවා වගේම සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපි මැතිහත් වෙනවා. අපි සෑම දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සියළු දෙනා එකට එක්ව වැඩ කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමයි.
මෙරට සෑම රජයක්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටම සදහන් කරන කාරණයක් තමයි අඩු පිරිවැයකින් වැඩි ඵලදායිතාවයක් ලබාදෙන විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් මේ රටේ පවතින බව. එය ශක්තිමත් කිරිම සහ ඉහළට ගෙන යාම අපේ වගකීමක් වෙනවා. මාතෘ මරණ, ළදරු මරණ, එන්නත් වැඩපිළීවෙල ඇතුලු කාරණා රැසක ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් තිබෙනවා. හොද දර්ශක ලබාගෙන තිබෙනවා. අනාගතයේ දී මෙරට ට බලපාන ගැටළු රැසක් තිබෙනවා ඒ අතර බොනොවන රෝග, අනතුරු වළක්වා ගැනීම ප්‍රධාන කරුණක් වෙනවා. හදිසි අනතුරු නිසා වර්ෂයකට 12,000 ජිවිත රටට අහිමි වෙනවා. දිනකට ජිවිත 35 නැති වෙනවා. ඒ සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය ආයතන සමග කටයුතු කිරීමට විශේෂ අවධානය යොමු කර වැඩ කර ජනතාවගේ ජිවිත ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම, ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරිම කෙරෙහි අවධානය යොමු කරමින් සියළු ජනතාවට එහි ප්‍රතිඵල ලබාදෙමින් තෘතියික සේවාවන් හි තිබෙන ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන මහ රෝහල්, ශික්ෂණ රෝහල් ඇති රෝහල්වල කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරිමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් පැවසුවේය