Spread the love

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්ද නිකුත් කර ඇත.

සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා මෙම මුහුදු ප්‍රදේවල ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත්, මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටත් දන්වා තිබේ.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.