Spread the love

බඳින තුවක්කුවකට හසු වීමෙන් තුවාල ලැබූ අග්බෝ හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා අවධාරණය කරයි.

ඔහු ප්‍රකාශ කරන්නේ, හස්තියාගේ පාදයට තවත් එක් ශෛල්‍යකර්මයක් සිදුකිරීමට ඇති බවයි.

බඳින තුවක්කුවකට හසු වීමෙන් ඉදිරිපස වම් පාදයට දැඩි ලෙස තුවාල වී සිටින අග්බෝ හස්තියාට වනජීවී හා පශු නිලධාරීහු තවදුරටත් ප්‍රතිකාර සිදුකරති.

හස්තියා මේ වනවිට තිරප්පනය පුඩුක්කුලම වැව ආශ්‍රිතව සැරිසරන අතර, හස්තියාගේ ප්‍රතිකාර සිදුකෙරෙන්නේ, පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ සහ අනුරාධපුර වනජීවී කලාපයේ පශු වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා අප කළ විමසීමක දී සඳහන් කළේ, අග්බෝගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් තවත් එක් ශෛල්‍යකර්මයක් හස්තියාට සිදුකිරීමට ඇති බව පශු වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ප්‍රතිකාර ලබා දෙන තුරු හස්තියාට අවශ්‍ය ආහාර පාන සැපයීම ද ඉතා අසීරුවෙන් සිදුකරන අවස්ථාවක තමාගේ එකම කුඹුර හස්තියාට ආහාර සඳහා පරිත්‍යාග කිරීමට ගල්ගමුවේ ගොවි මහතෙකු කැමැත්ත පළකර ඇත.

ගල්ගමුව උස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයේ පදිංචි ටී.එම්.ගුණරත්න බණ්ඩා නමැති මේ ගොවි මහතා සතුව පවතින එකම කුඹුර මෙය බව වාර්තා වෙයි.

අග්බෝට ආහාර සපයන පිරිසක් පසුගිය දිනක මෙම ප්‍රදේශයේ කුඹුරු හිමියන් හමුවීමට පැමිණ තිබුණේ, අග්බෝට ආහාර සඳහා කුඹුරක් ලබා දිය හැකි පරිත්‍යාගශීලී ගොවි මහතෙකු සොයාගෙනයි.

ගොවීන් රැසක් හමුවීමෙන් පසු ටී.එම්.ගුණරත්න බණ්ඩා ගොවි මහතා මොවුන්ට හමු වී ඇති අතර, එහි දී අක්කරයක් පමණ වූ තම එකම කුඹුර අග්බෝගේ කුස පිරවීමට ඔහු පරිත්‍යාග කර තිබිණි.

ඒ අනුව එම වී සහිත කුඹුරු යාය අග්බෝට ආහාර පිණිස ලබා දීමට ඔවුහූ පියවර ගත්හ.