Spread the love

කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා කිසියම් පුද්ගලයකු වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති 44 හැවිරිදි දෙදරු පියකුටය..

මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.

ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.

ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.
තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.

තුවාල ලැබූ කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න මහතාගේ බිරිඳ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබිණි.

”අපි අසරණ වෙලා. මටයි දරු දෙන්නටයි ඉගෙන ගන්න, පංති යන්න, ජීවත් වෙන්න විදිහක් නැහැ. අපි පදිංචි වෙලා ඉන්නෙ රාජාංගණය ප්‍රදේශයේ. මහත්තයා අවුරුදු 09ක් කුවේට්වල ප්‍රසිද්ධ හෝටලයක සකස් කරන ආහාර නිවාසවලට ඇණවුම් අනුව රැගෙන ගොස් භාර දෙන්නකු හැටියට සේවය කරනවා. එයා මෙහෙ පෙදරේරුවකු වශයෙන් සේවය කළා. දුවලා දෙන්නට අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා, ගෙයක් හදා ගන්න ඕනෑ නිසා එයා කුවේට්වල රැකියාවට ගියා. එයා තුන් පාරක් රට ගිහිල්ලා තියෙනවා. එයා අන්තිම වරට කුවේට් ගියේ 2022 ඔක්තෝම්බර් මාසෙ 25 වැනි දා. මහත්තයා කුවේට්වල දිගු කලක් සේවයේ නිරත වී සිටින නිසා, එහෙ පාරවල් ගැන හොඳටම දන්නවා. එදා 2024 ජනවාරි මාසයේ 10 වැනි දා අලුයම 04.00ට ජහරා ප්‍රදේශයේ පුද්ගලයෙකුට ආහාර ඇණවුමක් භාර දීමට පිටත් වෙලා තියෙනවා. ඒත් යා යුතු ගමන් මාර්ගය සහ භාර දිය යුතු ස්ථානය (Location) වැරදියට දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇණවුම භාර දීමට නියමිත ස්ථානය යළිත් හෝටලයට කතා කරල හොයා ගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙලා තියෙනවා. අවසානයේ නියමිත ස්ථානයට ගිහිං ආහාර ඇණවුම භාර දෙන්න හදන විට, එය භාර ගන්න සිටි පුද්ගලයා වෙඩි දෙකක් තියලා තියෙනවා. ඒ වෙඩි පහර කාගෙන, එයා මෝටර් රථයෙන් ටික දුරක් ඇවිත්, බැරි තැන එයාගෙ ඉන්දීය යාළුවෙකුට කතා කරල රෝහල්ගත වෙලා තියෙනව. එයාට රෝහලේ දී උගුරේ සිට බඩ දක්වා මැහුම් 40ක් දාලා තියෙනවා. දැන් ජනවාරි මාසයේ ඉඳලා අපිට ජීවත් වෙන්න මුදල් නැහැ. ලොකු දුව 08 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පොඩි දුව 05 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පංති යන්න විදිහක් නැහැ”