Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කොට ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය කොට ඇත්තේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුවය.
අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද එකී වාරණ නියෝගයන්ට අනුව පහත දැක්වෙන පියවර ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කොට ඇත.

  මේ දක්වා නිකුත් කොට ඇති සියළු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

  මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම.

  මෙම මෘදු මත්පැන් අවසරයට අඳාල අංක 05/2022 දරණ සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම. 

අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වේ.

මෙම අභියාචනාධිකරණ නඩුකරය 2023. 11. 13 දින නැවත කැඳවීමට නියමිත බවද අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.