Spread the love

පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි ශ්‍රමිකයින් 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බවය.

“ඊයේ දිනයේ දී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට සිටි 48දෙනෙකුගේ ගමන ප්‍රමාද වෙනවා. ඊට හේතුව වෙන්නේ තාක්ෂණික හේතුවක් මත ඊයේ දින දකුණු කොරියාවට යෑමට තිබු යු.එල් 470 දරන ගුවන් යානයේ ගමන ප්‍රමාදවීම. ඒ අනුව මේ 48දෙනා ගැන අපට කළ දැනුම්දීම අනුව නැවත වතාවක් ගුවන්ගමන වෙන් කිරීමට සිදුවෙනවා. කෙසේ නමුත් මේ 48 දෙනාටම සුදානම් කර තිබු අයුරින් ගුවන් ගමන ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට යෑමට අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ අය අතර ගිය වර කොවිඩ් වැලඳී සුවය ලබා නැවත දින වෙනස් කරගත් 2කු සිටියා. යම් ආකාරයෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාදය මත රැකියා අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න පුළුවන්.”

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා,

“දැනට දකුණු කොරියානු මානවසම්පත් ආයතනය සමග සාකච්ඡා කරලා තියෙනවා නව දිනයන් ඔවුන්ගේ දැනුම්දීම අනුව ඉදිරියේදී රැකියා අපේක්ෂයන්ට දනුම්දීමට කටයුතු කරනවා.”

දකුණු කොරියාවේ ඉචිගොන් බලා ඊයේ රාත්‍රී 8.05ට ගුවන් ගත වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 470 දරණ ගුවන් යානය පැය 10ක කාලයක් ප්‍රමාද වීම මීට හේතු වී තිබේ.

කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය ප්‍රමාද වී ඇති අතර එය අද අලුයම 6.00 ගුවන් ගත වීමට නියමිතව තිබුණි.