Spread the love

වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්ගේ ආකාර්යක්ෂම බව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ලැබුණු රුපියල් මිලියන 150 ක ආධාර මුදල අහිමි වී යාමේ අවධානමක් මතුව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් කියා සිටියේ,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් හා පාසල් හැර යන තරුණ තරුණයින් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් කටාර් අරමුදලෙන් රුපියල් මිලියන 150 ක ආධාරයක් ලැබී ඇති නමුත් ඇතැම් රාජ්‍යය නිළධාරීන්ගේ මැදිහත් වීම සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිතුමන්ගේ තියෙන ලිපියක් අමාත්‍යංශයට යවන්න බැරි වීම නිසා ලබන සතිය වන විට අපිට මේ මධ්‍යස්ථානයට වෙන් කල මුදල අහිමි වී යන්න පුලුවන්කම තියෙනවා.

මෙහෙම වෙලා තියෙන්නේ ඇමතිවරුන්ගේ තියෙන දුර්වලතාවය නිසා නෙමෙයි, සමහර රජයේ නිළධාරීන්, සමහර සභාපතිවරුන්ගේ තියෙන අකාර්යක්ෂමතාවය නිසා, මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා යෝජනාව ලැබිලා මාස කීපයක් වෙනවා.අධ්‍යාපන අමාත්‍යයතුමන් අනුමැතිය පවා ලබා දී තිබෙනවා,නමුත් ඒ සඳහා අවශ්‍යය කටයුතු කිරීමට නිළධාරීන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීයි

මේ සම්බන්ධයෙන් අප වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් ප්‍රසන්න රණසිංහ මහතාගෙන් 0774461968 යන දුරකථන අංකයෙන් පළමුව කළ විමසීමකදී කියා සිටියේ,

වෘත්තීය පුහුණු අධිකාරියට‍ කටාර් අරමුදලෙන්, රුපියල් මිලියන 150 ක ආධාර මුදලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් ලැබී ඇති බවත්, අමාත්‍යංශයෙන් නිර්දේශ ලබා දීම සඳහා මට ලියුමක් ආවේ නෑ යනුවෙනි.

අනතුරුව අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි උසස් නිළධාරියකු කියා සිටියේ,කටාර් පුණ්‍ය ආයතනය මගින් ලිඛිතව කළ ඉල්ලීමකට පසුගිය ජනවාරී මාසයේදී අධ්‍යාපන අමාත්‍යය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අවශ්‍යය කටයුතු සිදු කරන ලෙස දැනුම් දුන් බවයි.නමුත් වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා විසින් නැවත ඒ සඳහා අවශ්‍යය ලිපි භාර දී නැති බවද එම නිළධාරියා පැවසීය.

මේ පිළිබඳව නැවත විමසීම සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් ප්‍රසන්න රණසිංහ මහතාගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් පසු ඒ මහතා කියා සිටියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණි බවත්, තමන්ට ලේකම්තුමන් කථා කරන බවත් පවසා දුරකතනය විසන්ධි කරනු ලැබීය.ඉන් පසු අප උදෑසන සිට ඒ මහතාගේ ජංගම දුරකථනයට මෙන්ම, කාර්යාල දුරකථන අංකයට ඇමතුම් ගණනාවක් ලබා ගත්ද ඒ කිසිවකට කිසිවෙකුත් ප්‍රතිචාර නොදැක්වීය.