Spread the love


නිමල් රාජපක්ෂ-

..

දැයේ දු දරුවන්ගේ මංපෙත් සපල කරන එකම ආයතනය වන්නේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා)යි. පාසළෙන් උසස් අධ්‍යාපනය හදෑරීමට නොහැකිවන සියළුම දුවා දරුවන්ගේ ඉදිරි අනාගතය ජය ගැනීමට රැකියා අවස්ථා සලස්වාදෙන ආයතනය වන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය නොහතේ නයිටා ආයතනයට හෙටට (16) වසර 52 ක් සපිරෙනු ඇත.


නවීන තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන ක්ෂේත්‍ර 25ක් ආවරණය කරගත් වෘත්තීන් 170 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ ආධුනිකත්ව පුහුණුව ලබාදෙන නයිටා ආයතනය සතුව දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල 25 ක්ද ජාතික ආයතන 3 ක්ද පැවතීම සතුටට කරුණක් .

පාසල් අධ්‍යාපනය තුළින් උසස් අධ්‍යාපනයට හිමිකම් නොලබන, තරුණ තරුණියන් වෘත්තිය අධ්‍යාපනයට යොමු කිරවීමෙහි ලා පුරෝගාමියා වන්නේ නයිටා ආයතනයයනි. මෙහි සුවිශේෂී කාර්යභාරයක් දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදුකරයි. දිස්ත්‍රික් කාර්යාල යටතේ පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි.
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය, කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය සහ ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය යන ජාතික ආයතන වලින් වසරකට නිපුණ ශිල්පීන් දහස් ගණනක් දෙස් විදෙස් ශ්‍රම බලකායට එක් වෙති.

ඉංජිනේරු තාක්ෂණ ආයතනය මඟින් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමක් ඇති ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලොමාව (NDES) පිරිනැමේ. සිවිල් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු සහ යාන්ත්‍රික ඉංජිනේරු යන ප්‍රධාන ක්ෂේත්‍රයන් 3 ක් යටතේ මෙම ඩිප්ලෝමාව සකස් වී ඇති අතර වසරකට සිසුන් 400 ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනේ.
වසරකට 400 කට අධික ප්‍රමාණයක් දෙස් විදෙස්හි වෙනස්වන ශ්‍රම අවශ්‍යතාවයන් ට ගැලපෙන නිපුණ ශිල්පීන් බිහි කරන ජාතික ආයතනයක් වන කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය ISO සහතිකයෙන් සහ තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ QMS සහතිකයෙන් ද පිදුම් ලබා ඇත.

“ ජපන් ටෙක් ” නමින් හැඳින්වෙන ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය, නයිටා ආයතනය යටතේ ක්‍රියාත්මක මෝටර් රථ ක්ෂේත්‍රියේ ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් ලබාදෙන ජාතික ආයතනයකි. වසරකට මෝටර් රථ ක්ෂේත්‍රියේ නිපුණ ශිල්පීන් 400 කට ආසන්න සංධ්‍යාවක් දෙස් විදෙස්ශ්‍රම බලකායට තිළිණ කරන මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ රැකියාගත වීමේ ප්‍රතිශතය 100% ක් වීම විශේෂත්වයකි.

නයිටා පුහුණු මධ්‍යස්ථාන අතරට නවමුවෙන් එකතු වූ කර්මාන්ත සහයෝගීතා ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය තුළ විදුලි සංදේශ තාක්ෂණශිල්පී – NVQ 4 සහ හෙද – NVQ 6 පාඨමාලවන් ආරම්භ කර ඇති අතර තොරුතුරු තාක්ෂණ ශිල්පී – NVQ 6 පාඨමාලාව ආරම්භ කර ඇත.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාලයන්හි විද්‍යා තාක්ෂණ, පරිගණක සහ ඉංජිනේරු විද්‍යාර්ථයින් සඳහා අවශ්‍ය ප්‍රායෝගක පුහුණුවත් රජයේ සියලු වෘත්තීය පුහුණු ආයතන වල සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුව හෙවත් කර්මාන්තගත පුහුණුවත් නයිටා අධිකාරිය මඟින් ලබාදීම සුවිශේෂි කරුණක්

මෙම වසරේ සිට නව තාක්ෂණයත් ඩිජිටල්කරණයත් සංකලනය කිරීමේ අරමුණ ඇතිව නිපුණතා සම්මත විෂයමාලා සැකසීම වෙනුවෙන් සම්පත් දායකයන්ගේ සහභාගීත්වය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගත හැකි පරිදි නවමු වෙබ් පිටුවක් නිර්මාණය කර ජනගත කිරීමද සිදු විය.

එකී අරමුණ තව දුරටත් යථාර්තයක් කරනු වස් NAITA හි නවමුවෙන් අරඹන ලද NAITA Sri Lanka You Tube සහ නාලිකාවන් ඔස්සේ දැයේ දූ දරුවන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශනය, ආධුනිකත්ව පුහුණුව හා සම්බන්ධ දැනුම මෙන්ම ප්‍රායෝගක දැනුම බෙදා හැරීමද නිරන්තරෙන් සිදු කරනු ලැබේ.

එමෙන්ම පෙර දැනුම පදනම් කර ගත් RPLක්‍රමවේදය යටතේ NVQ සහතිකපත් ලබා දීමේ ක්‍රමවේදයේදී මූලික කාර්යභාරය ඉටු කරන්නෙ නයිටා ආයතනයයි. වෘත්තිමය හැකියාවක් ඇති එහෙත් පිළිගත් සහතිකයක් නොමැති ඕනෑම අයෙකුට මෙම ක්‍රමය යටතේ NVQ 3, NVQ 4 මට්ටමේ සහතික ලබා ඒ තුළින් පිළිගත් වෘත්තිකයෙකු බවට පත්වීමට හැකිය. RPL ක්‍රමවේදය තුළින් NVQ සහතික නිකුත් කිරීමේ කාර්යය 2005 වසරේ සිට ආරම්භ වූ අතර මේ දක්වා නිකුත් කර ඇති සහතික ප්‍රමාණය 70000 කි. සහතිකලාභී පිරිස් අතර විවිධ ක්ෂේත්‍ර වල නිපුණ ත්‍රවිධ හමුදා නිලධාරීන්, පෙර පාසල් ගුරුවරුන්, ඖෂධ තාක්ෂණවේදීන්, මනාලියන් හැඩගැන්වීමේ ශිල්පීන් සහ මාධ්‍යවේදින්ද වෙති.

රැකියා සඳහා විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් ජපන් සහ කොරියානු භාෂා පාඨමාලාවන් පැවැත්වීම සහ අදාළ වෘත්තීන් වල නිපුණත්වය ලබාදීම නයිටා ආයතනය විසින් මෑතකදී ආරම්භ කරනු ලැබූ සුවිශේෂ වැඩපිළිවෙලකි.