Spread the love

විදුලි බිල අනිවාර්යයෙන් ම ඉහළ දැමිය යුතු බව කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අවධාරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (ඔක්. 3) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ජාත්‍යන්තර අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව පිරිවැය පිළිබිඹු වන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ත් පසුගිය කාලයේ වූ අලාභ ආවරණය කර ගැනීමට විදුලි බිල සංශෝධනය කළ යුතු බවට විදුලි බල ඇමති කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ය.

”අලුත් ජාත්‍යන්තර අරමුදල සමග ඇති කරගෙන තියෙන ගිවිසුම් ප්‍රකාරව පිරිවැය පිළිබිඹු වන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට තිබෙනවා. ඉතිං අමාරුවෙන් හරි දරාගෙන සිටින්න සිද්ධ වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පසුගිය කාලයේ ඇති වෙච්ච අලාභ ආවරණය වන තෙක් ඒ අලාභ ආවරණය කිරීම සඳහා මේ ගැලපුම සිදු නොකර ම බැරි බව ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලයට කංචන විජේසේකර අමාත්‍යතුමා දැනුම් දුන්නා. වෙන විකල්පයක් තියෙනවා නම් විකල්පේ කරන්න එතුමලා කැමතියි. විකල්ප සියල්ල සඳහන් කරලා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලලා තිබෙන බව තමා සඳහන් කළේ. මහජන උපයෝගිතා කොමිසම මේ පිළිබඳ පුළුල්ව සලකා බලලා මේ අත්‍යවශ්‍යයෙන් ම පවත්වාගෙන යා යුතු තත්ත්වය දැන් පසුගිය කාලය තුළ සහන ලබා දීම සඳහා යැයි ඇති කරපු විදුලි ගාස්තු වෙනස්කම් නිසා අවසානයේ අපිට පැය දොළහක විතර විදුලිය කැපීමට යන්න සිද්ධ වුණා. එවැනි තත්ත්වයකට නොයා ඊට වඩා වාසිදායක තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් වෙන ආකාරයට තාවකාලික වශයෙන් මේ අමාරුව කෙටි කාලයකට මේ අලාභය පියවෙන තෙක් දරා ගන්න සිද්ධ වෙන බව තමා එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා”