Spread the love

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියාව පවතියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.