Spread the love

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවය.

ඔහු ඒ බව පවසා සිටියේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ…”කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරීන් අද දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු චුදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. බන්ධනාගාර නිලධාරීන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බැඳී සිටිනවා. අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන්ට වෘත්තිය ක්‍රියා මාර්ගවලට යොමුවීමේ හැකියාවක් නැහැ. අධිකරණයට වගකීම් ඉටු නොකිරීම පිළිබඳ කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීවිද යන්න ප්‍රකාශ කරන්න බැහැ.

2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරී සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණා. නමුත් 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැහැ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නාවා.”