Spread the love

වායු ගෝලයට වාහන මඟින් පිට වන දුම් ප්‍රතිශතය අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා වායු විමෝචන ක්‍රියාවලිය කඩිනම් හා ශක්තිමත් කරන බවත්, ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුලු ආයතන සමඟ එක්ව ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් කඩිනමින් සකසන බවත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
වාහන දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කර වසර 15 ක් පමණ වන බවත්, එම නිසා වාහන මඟින් වායු ගෝලයට එක් වූ 60% ක පමණ දුම් ප්‍රතිශතය මේ වන විට යම් මට්ටමකට අඩු වී ඇති බව හෙළි වී ඇති බව ද සඳහන් කරයි.
වායු විමෝචන ක්‍රියාවලිය වෙනුවෙන් ස්ථාපිත කර ඇති වායු විමෝචන භාරකාර අරමුදල මඟින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දුන් උපකරණ බත්තරමුල්ල,මහනුවර යන නගර වල ස්ථාපිත කර ඇති බව ද, එහෙත් මෙම මධ්‍යස්ථාන මඟින් මුළු දිවයිනම ආවරණය නොවන බවත්, මුළු දිවයිනේම වායු ගෝලය පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා සරල උපකරණ (Sencer Base) විවිධ ප්‍රදේශ වල සවි කිරීමට හා එම ප්‍රදේශ වල වායු ගෝලයේ තත්ත්වය මහජනතාවට දැන ගැනීමට හැකි ක්‍රමවේදයක් සැකසීමේ වැදගත් කමත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
වායුගෝලිය තත්ත්ව දර්ශක අගය (Air Quility Index) 50 මට්ටමේ පවත්වා ගැනීම යහපත් බවත් එහෙත් මහනුවර එම අගය 80 ක් පමණ වන බවත්, කොළඹ නගරය ආශ්‍රිතව එම අගය 60-70 ක් බව අනාවරණය වී ඇති බව ද, කලාපීය රටවලට සාපේක්ෂව අපේ රටේ බොහෝ ප්‍රදේශ වල මෙම තත්ත්වය යහපත් බව ද හෙතෙම වැඩි දුරටත් පවසයි. විශේෂයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වායු දූෂණය ප්‍රබල ලෙස බලපාන බැවින් මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ඒ හා සම්බන්ධ සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු බව ද, අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
වායුගෝලය දූෂණය වීමට බලපාන ප්‍රධාන කරුණු අතර කර්මාන්ත ශාලා වලින් පිට කරන දුමාරය, වාහන මඟින් මුදාහරින දුමාරය, ගිනි තැබීම් වලින් පිටවන දුමාරය, ඉන්දියාව වැනි රටවල ගිනි කෙළි දර්ශන මඟින් පිට වන දුමාරය බලපානු ඇත.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලියාපදිංචි වාහන ලක්ෂ 83 ක් පැවතියත් ඉලෙක්ට්‍රික් වාහන, ඉඩම් වාහන, වර්ෂ 1975 ට පෙර ගෙන්වන ලද වාහන, හැරුණු කොට වාහන ලක්ෂ 56 ක් පමණ දුම් පරීක්ෂණ කටයුතු වලට යොමු වන අතර මෙම හේතුව නිසා වාහන මඟින් වායු ගෝලයට මුදා හරින දුම් ප්‍රමාණයේ යම් පාලනයක් ඇති බව ද අනාවරණය වේ. එසේ නොවූයේ නම් 2000 වසරේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 40 මේ වන විට දෙගුණ වී ඇතත් වායු ගෝලයේ තත්ත්වය වැඩි වී නොමැති බව ද හෙළිවේ.
වායු විමෝචන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන වල තත්ත්වය පිළිබද නිරන්තර අවධානය යොමු කළ යුතු බව ද, එම මධ්‍යස්ථාන මඟින් ලබා දෙන දත්ත වල නිවරදිභාවය පිළිබඳ සොයා බැලීමත්, දුම් පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, නිවරදි දුම් පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා වාහන නඩත්තුව නිසි ලෙස කළ යුතු බව ද, ඒ තුළින් ඉන්ධන දහනය 20% පමණ ප්‍රමාණයකින් අඩු වන බව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා සමස්ත වායු දූෂණය අවම කිරීමට දායක විය යුතු බව ජනතාවට අවධාරණය කළ යුතු බව ද, අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ වායු විමෝචන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම සඳහා පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය,ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රතීතන මණ්ඩලය, ශ්‍රීලංකා ගුවන් හමුදාව, කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය,යන ආයතන වල නිලධාරීන් ද සහභාගී විය.