Spread the love

වැඩ වර්ජනයක නිරත වූ විදුලි සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ට උපදෙස් ලබාදෙයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබල සැපයුමට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයත් මගින් ප්‍රකාශයට පත්කර තිබූ බවයි.

එමෙන්ම පසුගිය දෙවනදා සිට සියලුම සේවකයන්ගේ නිවාඩුද අවලංගු කරමින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිතව සේවකයින් දැනුවත් කර තිබූ බවද විෂය භාර අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

එවැනි පසුබිමක් තුළ සැළසුම් සහගතව සහ නීති විරෝධී අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර විදුලි සේවකයින් උද්ඝෝෂණයේ නිරත වූ බවයි අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් ගෙවීම් කවුළු වසා දමමින් කාර්යාල රාජකාරී අඩපණ කරමින් වර්ජනයේ නිරත සේවකයන් කටයුතු කිරීම පිළිබඳව මහජන පැමිණිලිද අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්.