Spread the love

තමන්ට ලබා දුන් ඉඩම් කොටස් ඒකාබද්ධ කරමින් නිවාස සංකීර්ණයක් ඉදිකර විකිණීමට අවසර දෙන ලෙසට ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනකු කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි සැලකිල්ලකින් යුතුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

නේවාසික ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කළ ඉඩම් කොටස් වාණිජ අරමුණක් වෙනුවෙන් යෙදවීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණවල සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන කැබිනට් සන්දේශයක් අනුවය.

කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ එම ක්‍රීඩකයන් අට දෙනාට බත්තරමුල්ල , ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙන් වෙන වෙනම ලබා දුන් ඉඩම් කොටස් ඒකාබද්ධ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට අනුමැතිය ඉල්ලමිනි.

මෙම ක්‍රීඩකයන් අට දෙනා හෝ ඔවුන්ගේ නියෝජිතයෙක්, නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස සංකීර්ණය මිල දී ගන්නා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි. මාස හයක් ඇතුළත සියලු අනුමැතීන් ලබා ගැනීමටත් වසර තුනක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමටත් සැලසුම වී තිබේ.

1997 වසරේ කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණේ වෙන් කරන ලද ඉඩම් කොටස්වල රුපියල් දහසක වාර්ෂික කුලියක් මත ක්‍රීඩකයන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමටය.

තමන්ට ලබා දුන් ඉඩම්වල නිවාස සංකීර්ණයක් ඉදි කර විකිණීමට ක්‍රීඩකයන් කර තිබෙන ඉල්ලීම නිසා එම ඉඩම් කොටස් ලබා දීමේ මූලික අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස්ව වාණිජ අරමුණක් වී තිබෙන බවත් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණවල තවදුරටත් සඳහන් කර ඇත.