Spread the love

මුළු ලෝකයෙන්ම අන්තර්ජාල සේවාවලින් බදු අය කරනුයේ රටවල් හයක පමණක් බවත් ශ්‍රී ලංකාව ද ඉන් එක් රටක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටියට වඩා බදු පොලු තැබූ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් 1212ක් සිටියදී වැට් බදු වැඩිකොට මේ රටේ පොඩි දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා එක් අයෙකුගෙන් රුපියල් තිස් දාහක් බදු වශයෙන් අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද බෙන්තර ‘’ද ලයන් රෙස්ට් හොටෙල්ස්’’ හි පැවති ජන හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් පැවසුවේය.

ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකට එන්නේ අපේම වැඩපිළිවෙලක් එක්කයි!

රට ගොඩ නැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් අවශ්‍ය බවත්, ඒ සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී සැකසීම වෙනුවෙන් කැපවෙන බවත් ඒ මහතා ජනහමුව අමතමින් ප්‍රකාශ කළේය.

මේවන විට ජනාධිපතිවරණය සඳහා විවිධ පුද්ගලයින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වන බව පැවසුව ද, ප්‍රමිතියක් සහිත දේශපාලන පිරිසක් එකතුකොට ඉදිරියේදී සංශෝධන වලට යටත් වැඩපිළිවෙලක් ජනතාව ඉදිරියට ඉදිරිපත් කොට සුදුසු අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මහ මැතිවරණයක් පැවතියහොත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමක් තෝරා ඉදිරිපත් කරන බව ද එසේ නොමැතිව ‘’මම තමයි ජනාධිපති අපේක්ෂකයා, මගේ ප්‍රතිපත්තිය මේක, අපිත් එක්ක එකතුවෙන්න‘’ යැයි ප්‍රකාශ නොකරන බවත් රට ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කොට සුදුසුම පුද්ගලයා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ද එක්සත් ජනරජ පෙරමුණේ නායකවරයා පැවසුවේය.

මඩ පත්තර සහ මාධ්‍ය ආයතන කරන අය සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඇවිත් ආණ්ඩුවේ ත්‍රාඩම කල්ලිය තමයි මේ පනත සම්මත කළේ.

මේක ඩිජිටල් ආර්ථිකයට ගැසූ බරපතල මරු පහරක් රටේ සංවර්ධනයට වන පාඩුව අසීමිතයි

පාර්ලිමේන්තුවේදී ජනවාරී 24 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත වූ සමාජ මාධ්‍ය පනත ගැනද, මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම සඳහා වැඩි ඉඩකඩක් ඇත්තේ අන්තර්ජාල සේවා හෙවත් ඩිජිටල් සේවා බවත්, සමාජ මාධ්‍ය නියාමනය කිරීම මගින් ආණ්ඩුව රටට සහ රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරන බව ද ආණ්ඩුවේ ත්‍රාඩම කල්ලිය එම පනත සම්මත කළ බවත් ඒ ජනහමුවේ අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය මගින් මඩ ප්‍රහාරයන් එල්ල කිරීම සත්‍යයක් වුව ද ඒවා කරගෙන යෑම සිදු කළ පිරිස්ම අණපනත් ගෙන ඒමට ක්‍රියා කරන බව ද පැවසූ පාඨලී චම්පික රණවක මහතා අන්තර්ජාල සේවා සපයන ආයතන සමග අවබෝධතා ගිවිසුම් අතසන් නොකොට හිතුමතේ අණ පනත් ගෙන ඒම නිසා අන්තර්ජාල පහසුකම් සපයන ආයතන ද ඔවුන්ගේ විරෝධය කළ කොට ඇති බවත් සඳහන් කළේය.

මුළු ලෝකයෙන්ම අන්තර්ජාල සේවාවලින් බදු අය කරනුයේ රටවල් හයක පමණක් බවත් ශ්‍රී ලංකාව ද ඉන් එක් රටක් බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා

ඉදිරියේදී ප්‍රති ත්‍රස්ත පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් මන්ත්‍රීවරයා ද අත් අඩංගුවට ගැනීමට දේශපාලන කල්ලි ක්‍රියා කළ බව ද, සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා ඉදිරියේදී නව ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වී ඇත්තේ රජයට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් සහ සමාජ ක්‍රියාකාරිකයන් හා සාමාන්‍ය ජනතාව මර්ධනය කිරීම බවත් සඳහන් කළේය.