Spread the love

ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි නව උනන්දුවක් ඇති වී තිබෙනවා. දැනටමත් මහා පරිමාණයේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා.

විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහා ද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා.

වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට මුලපුරා තිබෙන අතර එමඟින් හරිත බලශක්තිය සඳහා පවතින අවස්ථා තවදුරටත් විවෘත වනු ඇතියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි.

එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.