Spread the love

2023 වසර තුළදී පමණක් ලංකාවේ බාල වයස්කාර දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ සමාජ ජාල වෙත එක්කොට තිබෙන බව හඳුනාගෙන ඇති බවත් එවැනි සෑම වීඩියෝවක්ම සමාජ ජාලා වෙත නිකුත් කළ පුද්ගලයින් සම්බන්ධව පුළුල් විමර්ශන ආරම්භ කර නීතිමය පියවර ගනිමින් තිබෙන බවත් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

මෙහිදී අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,

මේ රටේ දරුවන් සහ කාන්තාවන් සම්බන්ධව සිදුව ඇති අපරාධ සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමේදී සිදුව ඇති ප්‍රායෝගික ගැටලු නිරාකරණය කිරීම සඳහා 109 විශේෂ දුරකථන අංකය හඳුන්වා දීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් පැවැති සංවිධාන ව්‍යුහයේ සුවිශේෂී වෙනසක් සිදු කිරීමට ද නියමිතයි. ඒ අනුව මෙතෙක් වෙනම පොලිස් කොට්ඨාශ ලෙස ක්‍රියාත්මක වූ අංශ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම මෙතෙක් අපරාධ විමර්ශනයේ පැවැති විශාලම බාධාවක් වූ අපරාධකරුවන් අපරාධ සිදුකර රටින් පලායෑම වැළැක්වීම සඳහා මුහුණු මගින් අපරාධකරුවන් හඳුනා ගැනීමේ විශේෂ ආරක්ෂක ක්‍රමවේදය කටුනායක ගුවන්තොටුපළ තුළ මේ වන විට ස්ථාපිත කර තිබෙනවා. මේ වන විට මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින් 1092කගේ ඡායාරූප ඊට ඇතුලත් කර තිබෙනවා.

එමෙන්ම රට පුරා වර්ධනය වෙමින් පවතින මූල්‍ය වංචා මැඩ පැවැත්වීම සඳහා එවැනි වංචනික ක්‍රියා හා සම්බන්ධ පුද්ගලයින් ගේ ඡායාරූප ද එම දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වනවා.

රටපුරා සංවිධානාත්මක අපරාධ බහුලව සිදුවන බස්නාහිර හා දකුණු පළාතේ ඇතුළු පොලිස් වසම් 38ක් පොලිසිය හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් වැඩිපුර ලබාදෙමින් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා.

එමෙන්ම අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධව තිබෙන පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 සිට මාසයක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365 ක් සමගින් මුළු සැකකරුවන් 40,590 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 73kg 300g
අයිස් 206 kg
කොකේන් 948g
අබිං 49kg 200g
හෂීස් 07kg 200g
ඈෂ් 36kg 200g
ගංජා 655kg
ගංජා පැල 2,992,653
මාවා 136kg 500 g
තූල් 06kg 600g
කුෂ් 01kg 800g
මදන මෝදක 16kg 200g
මත්පෙති 99,908 ක්
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,867 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 4791 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළදපල වටිනාකම මිලියන 725 කට ආසන්න බව අනාවරණය වී ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.