Spread the love

වැට් වැඩි කිරීම, රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්විය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ කළමනාකරණ තීන්දු ඊට හේතුවිය.

එම තත්වයෙහි අයහපත් ඍජු බලපෑම් සාමාන්‍ය ජනතාව වෙත යොමුව තිබේ.

රටේ ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා නිවැරදි කළමනාකරණ ක්‍රමවේද අනුගමනය වැදගත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ආධාර සපයයි. ඒ විවිධ කොන්දේසි මතය. කොන්දේසි කළමනාකරණය මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බව රණවක මහතාගේ විශ්වාසයයි. ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුය.

ඉන්පසු ආර්ථික සංවර්ධනය සඳහා වූ සංශෝධිත ක්‍රියා පිළිවෙතක් ලේඛන ගත කළ යුතු බව අමාත්‍යවරයාගේ විශ්වාසයයි.

යහපාලන සමයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු ඉලක්ක 16 ක් සැකසීය.

එහෙත් ඒවා සම්පූර්ණ ලෙස ඉටු කර ගැනීමට වත්මන් රජයට හැකියාවක් නොමැත. එවැනි තත්වයකදී ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලින් කොටසක් සහ රටට අවශ්‍ය, එහෙත් මූල්‍ය අරමුදල සමග එකඟ නොවූ ශ්‍රී ලංකාවට අනන්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම එක් ක්‍රමයකි. යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ද කළ හැක.

රණවක මහතා කියාසිටින්නේ IMF කොන්දේසි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ද තවත් ක්‍රමයක් බවයි.

කෙසේවුවද රටට උචිත, ගැටලු සහගත නොවන විද්‍යාත්මක ක්‍රමයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සබඳතා පවත්වා ගත යුතු බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට විවිධ ක්‍රියාමාර්ග ගත යුතුය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය එක් අදියරකි.

එහිදී විධිමත් සහ නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ යුතු බව රණවක මහතාගේ අදහසයි. එහෙත් වත්මන් රජය වර්තමානයේ ක්‍රියාකරන්නේ වගකීම් වලින් තොරවයි.

ඒ නිසා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට විධිමත් ක්‍රමයක් සැකසීමට පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඊට වත්මන් රජය අපොහොසත්ය.

එහෙත් රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජනරජ පෙරමුණ සතුව නිවැරදි හා විශ්වසනීය සැලසුම් ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.