Spread the love


නිමල් රාජපක්ෂ-

රටේ කිසිවිටකත් සහල් හිගයක් ඇති නොමැති බවත්, කූඨ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් සහල් හිගයක් මවා පෑවත් කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 5000 ක ඇස්වැන්නක් ඇතැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

2022/23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් ලක්ෂ 08ක වී වගා කළ අතර එම වර්ෂය තුළ සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ගෙන ඇත. සාමාන්‍යයෙන් අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. ඒ අනූව ගත් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක පමණ අතිරික්තයක් රට තුළ අනිවාර්යයෙන් තිබිය යුතුය.

එමෙන්ම BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය අක්කර 175,000ක වගා කර තිබේ. එමගින් ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන් 5000කි. කීරි සම්බා සහල් බොහෝ ප්‍රදේශවල ජනතාව පරිභෝජනය කරන්නේ නැත. එයට හේතුව එම සහල්වල අධික සීනි ප්‍රමාණයක් අන්තර්ගතවීමත්, විශේෂයෙන් දියවැඩියා රෝගින්ට එම සහල් පරිභෝජනය මගින් රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යන බව තහවුරු වී ඇති නිසාත්ය.

එමනිසා කීරි සම්බා සහල්වල කිසිදු හිඟයක් රට තුළ තිබිය නොහැකිය. එමෙන්ම BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය දේශීය වී ප්‍රභේදයකි. මෙම වී වර්ගය ලොව කිසිදු රටක වගා කරන්නේ නැත. එමනිසා එම සහල් ආනයනය කිරීමේ හැකියාවක් ද නැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවද දැනට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සැළකිල්ලට ගනිමින් වෙළෙඳ පළෙහි සහල් මිල ඉහළ යාම පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කළත්, දැනට පවතින ඇතැම් සහල්වල හිඟය කූඨ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් විසින් කෘත්‍රිමව නිර්මාණය කරන ලද සහල් හිඟයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.