Spread the love

එල්.ටී.ටී.ඊ යුධමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.
එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
ඇමතිවරයා පවසන්නේ එම පිරිසද කඩිනමින් පදිංචි කිරීමට කටයුතු කරන බවයි.
දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න් පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවල ජීවත්වන අතර ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමඟ ජීවත්වේ.
නැවත පදිංචි කිරීමේ අංශය 2020-08-09 දිනැති අංක 2187/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතට පත් කෙරිණ.
උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් අවතැන්ව ඉන්දියාව බලා පිටත් වූ පවුල් සහ මෙරට විවිධ ප්‍රදේශවලට සංක්‍රමණයවූ පවුල් ඔවුන්ගේ මුල් ගම්බිම් වල නැවත පදිංචි කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය හා සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබන්නේ නැවත පදිංචි කිරීමේ අංශය මඟිනි.
එහිදී මොවුන්ට අවශ්‍ය නිවාස මෙන්ම ජලය ,විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් ලබා දීම ද සිදු කරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එල්.ටී.ටී.ඊ යුධමය තත්ත්වය හේතුවෙන් අවතැන්වූ පවුල් 271,171 ක් මේ වනවිට නැවත පදිංචි කරවා තිබේ. ඔවුන් උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය,මුලතිව්,වව්නියාව,මන්නාරම දිස්ත්‍රික්කවල හා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර යන දිස්ත්‍රික්ක 8හි පදිංචි කරවා තිබේ.
යුද්ධයෙන් අවතැන්ව සරණාගතභාවය පතා ඉන්දියාවට ගොස් සිට මෙරටට පැමිණෙන පවුල්වලට හා අවතැන්ව මෙරට රැඳී සිටි පවුල්වල මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රජය මගින් රුපියල් 38,000 ක ආධාර මුදලක් ලබාදෙනු ලැබේ. එමෙන්ම ඔවුන්ට රාජ්‍ය නොවන සංවිධාන මගින්ද ආධාර මුදල් ලබාදෙනු ලැබේ.
ඉඩමක් ඇති පුද්ගලයන්ට තාවකාලිකව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් 25,000ක්, ඉඩම ශුද්ධ කර ගැනීමට රුපියල් 5,000ක්, අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් 3,000ක් හා ආහාර නොවන අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 5,000ක් වශයෙන් එම ආධාර මුදල් ලබාදෙනු ලැබේ.
උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් පුද්ගලයන් සඳහා නිවාස ලබාදෙනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මතය. එහිදී නිවාස ලබාදෙන්නේ මුල් පවුල් සඳහා පමණි.
ඒ අනුව අවතැන්වූවන් සඳහා නිවාස 148,848 ක් ඉදිකර තිබේ. රජය මගින් මෙන්ම ඉන්දියානු අධාර හා රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මගින් මෙම නිවාස ඉදිකර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ අවතැන්වූවන් සියලුම දෙනාට නිවාස ලබාදී අවතැන්වූවන් රඳවා සිටින සුබසාධන කඳවුරු වසා දැමීමට කඩිනමින් පියවර ගන්නා බවයි.