Spread the love

නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් විසින් ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායකට පිළිගන්වනලදි්‍.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි​ගේ සුබ පැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජනය, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා සහායවීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳව කරුණු පැහැදිළි කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවට සිය ආර්ථික පුනරුදය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවද ඔහු අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් ක​ළේ.