Spread the love

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදන දෙකක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත අප්‍රේල් 13 දින රාත්‍රී ෂෙල් හා මිසයිල ප්‍රහාර 500 කට වඩා එල්ල කර ඇතත් ඒ සියල්ල ගුවනේදී විනාශ කිරීමට ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වී තිබෙන බවත් කුඩා දැරියකට සිදු වූ තුවාලයක් හැරුණු විට ඊශ්‍රායලයේ වෙනත් කිසිඳු අයෙකුට එම ප්‍රහාරයෙන් අනතුරක් සිදුව නොමැති බවත් එම පනිවුඩ වල වැඩි දුරටත් සදහන් වේ.

ඉරාන මිසයිල ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලය දක්වා පැමිණීම තාවකාලිකව නවතා දමා තිබු වාණිජ ගුවන් යානා සමාගම් බොහොමයක් නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයටත් ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවටත් පැමිණීමට බලාපොරොත්තු වන මගීන් තම ගුවන් ගමන් ඒජන්තවරයාගෙන් අදාළ ටිකට් පත්වල නැවත ගමන් වාරයන් පිළිබඳව විමසිය හැකි බවත් එම පනිවුඩ වල සදහන් වේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය මුහුණු පොත හරහා ශ්‍රී ලංකිකයින් වෙත පනිවුඩ දෙකක් යොමු කරමින් මේ බව සදහන් කර තිබේ. ඊශ්‍රායලයේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකික හිතවතුන් හා මාධ්‍ය දැඩි අවධානයක් යොමු කරන බැවින් මෙම පනිවුඩ නිකුත් කරන ලද බව නිමල් බණ්ඩාර මහතාගේ පනිවුඩ මගින් අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් නිකුත් කරන ලද එම පනිවුඩ වල මෙසේද සදහන් වේ.

ෆයි ඩුබායි ගුවන් සේවයට අයත් ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ධාවනය කරන ලද FZ 1625 දරන ගුවන් යානය 13 රාත්‍රී 20.10 ට ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ගමන් කරමින් තිබිය දී ගුවන් ප්‍රහාර පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඒත් සමග ගුවන් යානය යළිත් හරවා ඩුබායි බලා පියාසර කර තිබේ. එම ගුවන් යානයේ ඊශ්‍රායලය බලා පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් සිටි බවත් ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කටයුතු කරන බවත් එ මහතා කියයි.

පවතින තත්ත්වය හමුවේ ජෝර්දානය, ලෙබනනය, ඉරාකය, ඊශ්‍රායලය ආදී රටවල් හරහා ගමන් ගන්නා ගුවන් ගමන් එම කලාපය මග හැර නැවත වෙනත් මාර්ග ඔස්සේ යුරෝපයේ බොහෝ රටවල් වෙත ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමන් සඳහා ගතවන කාලය මෙන්ම ප්‍රවේශ පත්‍ර ගාස්තු ද ඉහල ගොස් ඇත. එම නිසා මැද පෙරදිග කලාපයේ හා යුරෝපීය රටවල් සඳහා ගමන් කිරීමට ගුවන් ටිකට්පත් ලබාගෙන ඇති පිරිස තම ගුවන් ගමන් බලපත් නැවත පරික්ෂ කර ගන්න මෙන් ද නිමල් බණ්ඩාර මහතා දන්වා සිටී. එයට අමතරව ඊශ්‍රායලයට පැමිණෙන හා ඊශ්‍රායලයෙන් පිටත්ව යන ගුවන් යානාවල ප්‍රමාදයන් පවතින බවද ඒ මහතා කියයි.

2024 අප්‍රේල් මස 13 වැනි දින ශ්‍රී ලාංකිකයන් දෙදහසකගේ පමණ සහභාගිත්වයෙන් ජෙරුසෙලම් ගන්ශකර් ක්‍රීඩාංගනයේ දී එදින රාත්‍රී 9.00 දක්වා බක්මහ උළෙල ඉතා සාර්ථකව පැවැති බවද ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එම උත්සවයෙන් පසුව සිය වාසස්ථාන කරා පිටත්ව ගිය බවද එම නියේදනයේ වැඩි දුරටත් සදහන් වේ.