Spread the love

යුක්ක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් රටට ඇතුළු වී කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට (30) දැනුම් දුන්නේය.

අන්තර්ජාලය හරහා සිදුවන වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමට හැකියාව ඇති හෙයින් එම සයිබර් අපරාධකරුවන්ගේ ජාලය පිළිබඳව විශේෂ විමර්ශනයක් කරන බව දැනුම් දුන් රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් මෙම අපරාධයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ යුක්‍රේන ජාතික තරුණයින් දෙදෙනෙකු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බවට සහ ඔන්ලයින් ආදායම් මාර්ග හඳුන්වා දෙන බවට ‘ෆෙස්බුක්’ සහ ‘ටෙලිග්‍රැම්’ ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර රුපියල් ලක්‍ෂ 36කට අධික මුදලක් වංචා කළැයි කියන හරුනොව් නිකිතා සහ සෙවෙට්ස් ලිබොමීර් නැමැති යුක්‍රේන ජාතික තරුණයින් දෙදෙනෙකි.