නිමල් රාජපක්ෂ-
මින් ඉදිරියට නැවත මෙරටට සහල් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැතැයිද දැන් මේ මුළු රටම පාරිභෝජනය කරන්නේ අපේ රටේම නිපදවන ලද කුකුළු මස් හා බිත්තර යැයිද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
අපිට අවශ්‍ය සහල් අපේ රටේම නිපදවා ගැනීමට හැකි නොනවතින වැඩ පිළිවෙළක් දියත් කර තිබේ.
2022 දී මෙරට ජනතාවට කන්න දෙන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රජයට වැය කරන්න සිදු වුනා. නමුත් 2023 දී අපි රටට අවශ්‍ය සම්පුර්ණ සහල් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් මිලියන 2.5ක් නිෂ්පාදනය කළා.
ඒ වගේම 2024 වර්ෂයේ දීත් අපි සහල් මෙට්‍රික් ටොන් මිලියන 03ක් නිපදවනවා. මෙමගින් සහල් ආනයනය සඳහා වැය කිරිමට සිදුවන ඩොලර් මිලියන 650ක් පමණ අපිට ඉතිරි කර ගැනීමට හැකිවෙනවා.
.
2024 වර්ෂයේ සමස්ත කුකුළු මස් නිෂ්පාදනය කිලෝ මිලියන 269ක් ඉක්මවා යා හැකියි. . මින් පෙර කිසිදු අවස්ථාවක මේ තරම් විශාල ලෙස කුකුළු මස් නිෂ්පාදනය කර නැහැ. මේ නිසා රුපියල් 1700ක් පමණ වූ කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 1000ක සීමාවට ගෙන එන්නට අපිට හැකි වුනා. බිත්තරයක් රුපියල් 50ක් පමණ වුවත් දැන් අපිට අවශ්‍ය සමස්ත බිත්තර ප්‍රමාණය අපේ රටේම නිපදවා ඇතැයිද පැවසුවේය.