Spread the love

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන දෙයක් සහ ස්වාභාවික රක්ෂිතයක් රැම්සාර් සම්මුතිය යටතේ නව තෙත් බිම් කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම ට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වරිය මේ බව සඳහන් කළා ය.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, සහ යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය නව තෙත් බිම් කලාප ලෙස 2024 වසර ඇතුළත නම් කිරීම ට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙහිදී වාන්කලෙයි අභයභූමිය, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා පුළුල් කිරීමට ද පියවර ගෙන ඇතිබව අමාත්‍යවරිය පැවැසුවාය.

මේ අතර මිරිස්ස සමුද්‍රීය අභයභූමිය ද මේ වසර ඇතුළත ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා පැවසුවේ දිය දහරා රැසක පෝෂක ප්‍රදේශයක් වූ බදුල්ල සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාරංගල කඳු වැටිය ඇතුළු ආශ්‍රිත ප්‍රදේශය අභයභූමියක් ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මස 05 දින නම් කළ බවයි.
එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 239 කි.

මේ වන විට රැම්සාර් සම්මුතිය ට අනුව ශ්‍රී ලංකාවේ තෙත් බිම් කලාප හයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බූන්දල ජාතික උද්‍යානය, මාදු ගඟ අභයභූමිය, ආනවිලුන්දාව අභයභූමිය, වාන්කලෙයි අභයභූමිය,
කුමන කුඩින්බිගල තෙත් බිම් සමූහය, විල්පත්තුව අභයභූමිය, දැනට ශ්‍රී ලංකාවේ පවතින රැම්සාර් තෙත් බිම් කලාප වලට අයත්වේ.

” මානව යහපැවැත්ම උදෙසා තෙත් බිම් ” යන්න 2024 ලෝක තෙත් බිම් දින තේමාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තිබේ.

ලෝකයේ තෙත් බිම් ආරක්ෂණය සඳහා 1971 වසරේ ඉරාකයේ රැම්සාර් නගරයේ දී රටවල් 136 ක සහභාගිත්වයෙන් රැස්වී ඇතිකර ගන්නා ලද සම්මුතිය රැම්සාර් තෙත් බිම් සම්මුතිය ලෙස හැඳින්වේ.

මෙම සම්මුතියේ වැදගත්කම හේතුවෙන් 1990 වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියේ පාර්ශවීය රටක් ලෙස ගිවිසුම් ගත විය. දක්ෂිණ අර්ධගෝලයේ සහ ඇන්ටාක්ටික් මහද්වීපයේ හිමෙන් වැසී ගිය ප්‍රදේශ හැරුණු විට ලොව අන් සියළු මහද්වීපයකම තෙත් බිම් ව්‍යාප්තව පවතියි. ලොව පුරා පවතින තෙත් බිම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන සහ ලෝක පසු විපරම් මධ්‍යස්ථානය මඟින් ඇස්තමේන්තුකර තිබේ. පෘථිවිය මත තෙත් බිම් හෙක්ටයාර් මිලියන 570 පමණ වේ. එය පෘථිවි පෘෂ්ඨයෙන් 6% ක ප්‍රමාණයකි.

රැම්සාර් සම්මුතිය ට අනුව තෙත් බිමක් ලෙස නිර්වචනය කරනුයේ ” බාදිය පවත්නා විට ගැඹුර මීටර් 06 නොයික්මවන මුහුදු ජලය පවතින ප්‍රදේශ ඇතුළු ස්වාභාවික හෝ කෘත්‍රිම, ස්ථිර හෝ තාවකාලිකව ගලාබසින හෝ නොබසින ජලය සහිත කරදිය හෝ මිරිදිය හෝ කිවුල් දිය සහිත වගුරු හෝ ගොහොරු හෝ ජලය සහිත ප්‍රදේශ වේ.”

තෙත් බිම් යනු ඉතා සාරවත් ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි.
ගංවතුර තර්ජන වැළැක්වීම, දූෂිත ජලය පවිත්‍ර කිරීම ජලය ගබඩා කර පසුව මුදා හැරීම, ඇතුළු විවිධ ස්වාභාවික වෙනස්කම් රැසක් තෙත් බිමක් හරහා සිදුවේ.