Spread the love

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් අවධාරණය කර ඇත.

ඔහු ඒ බව පවසා ඇත්තේ මුම්බායි ප්‍රහාරයේදී දිවි පිදූවන් සිහිපත් කිරීමේ අවස්ථාවකදීය.

2008 වසරේ නොවැම්බර් මස 26 වනදා එල්ල වූ මුම්බායි ප්‍රහාරයට අදට වසර 14ක් සම්පූර්ණ වෙයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පෙන්වා දෙන්නේ මුම්බායි ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින් මෙන්ම ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් නීතිය හමුවට ගෙනආ යුතු බවය.

මුම්බායි ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් සිහිපත් කිරීම සඳහා සමස්ත ලෝකයම ඉන්දියාව සමග එක්වී සිටින බවද ඔහු පවසා ඇත.

2008 වසරේදී පාකිස්තානය පදනම් කරගත් Lashkar e Taliba ත්‍රස්ත කල්ලිය විසින් දියත් කළ මුම්බායි ප්‍රහාරයේදී විදේශිකයන් ඇතුළු පුද්ගලයින් 166 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 300 කට අධිකය.