Spread the love

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවට ඊයේ (03) එක්වෙමින් මෙම අදහස් පලකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවය.

එසේම එමගින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපැම ද ජනාධිපතිවරයා පැහැදිළි කර සිටියේය.

ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.

ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව ද ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසළකා හරිමින් කටයුතු කිරීම නිසා රට තුළ ගැටලු මතුවූ බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.