Spread the love

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.

ඒ අනුව ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය හා ඇස්ටෝනියාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනය කරන බව පැවසීය.

එම මැතිවරණ ක්‍රම මගින් මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි ආදර්ශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ වී තිබේ.

මේ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හා සංවිධානවලින් යෝජනා 60කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබේ.

එම යෝජනා අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

මීට අමතරව අදාළ යෝජනා ඉදිරිපත් කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජතයින් සමග ද මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කොමිසම කටයුතු කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 15 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

එදිනට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ඔක්තොබර් මස 15 වැනි දා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළේය

ඒ හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙනි.