nka C news
මාලිමා ආණ්ඩුවත් සමෘද්ධිය දෙනවා.. සහනාධාර තව වැඩි කරනවා..
1948දී ඉඳලා අවුරුදු හැත්තෑ හයක් සහනාධාර බෙදුවා. තාම රටේ බහුතරයක් දුප්පත් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ලේදී පැවැසීය.
හෙතෙම එලෙස පවසා සිටියේ බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි සාමූහිකය අමතමින්ය.
“හැබැයි මේ සමෘද්ධි ව්‍යාපාරයෙන් ජනතාව සමෘද්ධිමත් නොවුණාට පොහොසත් වෙච්ච පිරිසක් රටේ ඉන්නවා. ඒ අය තමයි බහුතරයක් දේශපාලකයෝ සහ ඔවුන් වටේ ඉන්න කණ්ඩායම. සමෘද්ධියෙන් ජනතාව සමෘද්ධිමත් වෙලා ඉන්නවා යැයි පැවැසූ සමන්ත විද්‍යාරත්න මහතා තවදුරටත් මෙසේද පැවැසීය.
සමෘද්ධි ව්‍යාපාරය හොඳ අරමුණක් සහ හොඳ සැලසුමක් තිබුණ යහපත් ව්‍යාපාරයක් වුණත් ස්වභාවිකව මරණයට පත්වෙන්න අතහැරලා තියෙන්නේ.
සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ නිලධාරීන්ට දිලිඳුකම පිටුදකින්න වෙන්න පුළුවන්. ජනතාවට තියෙන අරමුණ පාලකයන්ට නැහැ.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් දෙලක්ෂ දහහතර දහස් නවසියයක් (214,900) ඉන්නවා. ඉන් එක් ලක්ෂ පහළොස් දහස් හයසිය අසූපහක් (1,15,685) අස්වැසුම සහනාධාර ලබනවා.
මේ දිලිඳුකම නැති කරන්න ඇමැතිවරු කීයක් හිටියාද? කීයක් බිල්ඩින් නඩත්තු කළාද? කොච්චර වාහන තිබුණද? කොච්චර නිලධාරීන් පත් කළාද? කොච්චර සල්ලි වෙන් කළාද?
ඔබට සහතික කරලා කියනවා අපි මේ සමෘද්ධි ව්‍යාපාරය ආරක්ෂා කරනවා. ප්‍රවර්ධනය කරනවා. මේ රටේ ඇති දුප්පත්කම සහමුලින්ම තුරන් කරලා ඇත්ත සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීම සඳහා පාවිච්චි කරනවා කියන පණිවුඩය අපි ඔබට දෙන්න සූදානම්.
කිසිදු සහනාධාරයක් කපන්නේ නැහැ. මීට වැඩිය දෙයක් දෙන්නයි කල්පනා කරමින් ඉන්නේ. සමෘද්ධි ව්‍යාපාරය තනිකරලා දිලිඳුකම නැති කරන්න බැහැ. ඊට රාජ්‍ය යාන්ත්‍රණය සම්මිශ්‍රණය කරන්න ඕනෑ. ඒකාබද්ධ කරන්ඩ ඕනෑ.
අස්වැසුම ආවත් එක්ක සහනාධාර ක්‍රියාවලිය සමෘද්ධි බැංකුවෙන් වාණිජ බැංකුවලට ගියා. කිලෝමීටර් දෙකකින් සමෘද්ධි බැංකුවට ආපු අය දැන් කිලෝමීටර් දහය විස්ස සල්ලි ගෙවාගෙන වාණිජ බැංකුවලට යනවා.
වාණිජ බැංකුවල ඇප කොන්දේසි බරපතළයි. එතන වාණිජ අරමුණක් තියෙන්නේ. සමෘද්ධි බැංකු පද්ධතිය ඇති කළේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට වැටෙන්නෙ නැතුව ජනතාව රැකගන්න. විවිධ සමාගම් කොම්පැනි වැඩි පොලියට ගමට ඇවිල්ලා ගෙදරට ණය දීලා යනවා.
මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන අවුරුදු හැත්ත හයක් දුන්නා. දැන් මන්ත්‍රීවරු 106ට කැබිනට් තීන්දු අරන් තියෙනවා. අපේ කට්ටිය නැහැ.
මටත් ජීවිත කාලයටම බලපත්‍ර තුන්නක් හම්බ වී තිබෙනවා. එක වාහනයයි ගත්තෙ. බලපත්‍ර මන්ත්‍රීවරු විකුණනවා. අපි බලපත්‍ර වික්කේ නැහැ. බලපත්‍රය යටින් ගහලා තියෙනවා මන්ත්‍රීවරයාට පමණයි අන්සතු කිරීම තහනම් කියලා.
මං පාර්ලිමේන්තුවේ ඉන්න දවසක පුස්තකාලේ පත්තරයක් බලමින් හිටියා. එහා පැත්තේ මන්ත්‍රී හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේට දුරකථන පණිවුඩයක් ආවා. අනිත් අය වික්කේ ලක්ෂ එකසිය විස්සකට මාත් ඉතින් ඒ ගානට තමයි දෙන්න බලාපොරොත්තුව කිව්වා. මුදල් ටික ලෑස්ති කරගෙන පන්සල පැත්තෙ එන්න කිව්වා.
අපි දන්නේ පන්සිල්. උන්වහන්සේ දන්නේ මොන සිල්ද? පාර්ලිමේන්තුවට ගියාම හාමුදුරු කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ.”