Spread the love

ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දැරූ තරුණියකගේ දිවි බේරාගැනීමට තරුණයන් පිරිසක් සමත්වී තිබුණි.

ඊයේ (29)  රාත්‍රි 7.00ට පමණ මහියංගනය – මහනුවර A26 මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට පාලමෙන් එම තරුණිය ගඟට පැනීමට උත්සාහ කර තිබුණි

පාලමේ කොන්ක්‍රීට් වැටඋඩ නැඟ ගඟට පැනීමට සූදානම් වන බව දැක ඇයව අල්ලා ගැනීමට ඒ අසල සිටි තරුණයන් පිරිසක් ඇය වෙත දිව එනවාත් සමගම එම තරුණිය එකවරම ගඟට පැන ඇත.

පසුව තරුණයන් පිරිස ඇය ගඟෙන් ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුලත් කළේය.

එම අවස්ථාවේ ඇය කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා මහියංගන පොලීසියට අයත් සුවසැරිය හා හසලක පොලීසියට අයත් සුවසැරිය ගෙන්වා ගැනීමට උත්සාහ දරා තිබුණ ද එම ගිලන් රථ පැමිණීමට විනාඩි 45කට වඩා කාලයක් ගතවන බව පවසා තිබේ.

එබැවින් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකින් ඇයව ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගොස් ඇත.

තරුණිය ගඟට පැනීමට පලම අසලට පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථනය පාලම මත තිබි හමුවී තිබේ.

ඒ අනුව පොලීසිය මැදිහත්වී එම දුරකථනයේ තිබු අංකවලට ඇමතුම් ලබාදී ඇයගේ දෙමව්පියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබුණි.

එහිදී හෙළිවී ඇත්තේ අදාළ තරුණිය කලක පටන් මානසික රෝගයකින් පෙළෙන බවත් ඒ පිළිබඳව හසලක පොලීසිය පවා දැනුවත් බවත්ය.

මෙම තරුණිය මිණිපේ 31 ඇළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.