Spread the love

මාතර -නුවන්

බාලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකත්වය 150000 දක්වා වර්ධනය කරගැනීම මේ වසරේ ඉලක්කය බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
‘‘විනිවිදභාවය, එකමුතුකම සහ විවිධත්වය‘‘ යන්න තේමා කරගනිමින් නව වසර සඳහා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින සියලුදෙනා කැපවෙන්නැයි ඉල්ලා සිටින බව ප්‍රධාන කොමසාරිස්වරයා පැවසුවේය


පසුගිය කාලයේ බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ඉහළට ගෙන ඒමට හැකි වූයේ ව්‍යාපාරය හා සම්බන්ධ සියලුදෙනාගේ කැපවීම හා උනන්දුව නිසා යි.ඉදිරියටත් එම සහය ලබාදෙන්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව පැවැසුවේය.
තවදුරටත් අදහස් දක්වමින්,අද වන විට දිස්ත්‍රික්ක සියල්ලෙහිම බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ප්‍රචලිත වෙමින් තිබෙනවා. දවසින් දවස බොහෝදෙනා අපි සමඟ එක්වෙමින් සිටිනවා. අපිට මේ වසරේ ජයගත යුතු ඉලක්ක කිහිපයක් තිබෙනවා.ඒ අතර සමාජිකත්වය ප්‍රවර්ධනය කරගැනීම, ගුණාත්මක භාවය රැක ගැනීම වගේම මේ වසරේ පැවැත්වෙන ජාතික ජම්බෝරිය සාර්ථකව පවත්වා ගැනීම වැනි කාරණා රාශියක් තිබෙනවා. ජාතික ජම්බෝරිය හරහා සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වගේම රටට අත්කරගත හැකියි. විශේෂයෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ මඟින් සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකියි. විදෙස් රටවලින් පැමිණෙන බාලදක්ෂයන්ට අපේ රට ගැන, සංස්කෘතිය ගැන, ආහාර රටාවන් ගැන, ස්වභාවික සම්පත් ගැන දැනුමක් ලබාදිය හැකියා. ඒ මඟින් තව තවත් පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඒ වගකීම බාලදක්ෂයන් ලෙස ඔබේ සුරතෙහි තිබෙන්නේ. එය ඉටු කරන්න කැප වෙන්නැයි මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ දන්නවා අපේ සියලූම සාමාජිකයන් ස්වේච්ඡාවෙන් තමයි මෙහි නියැළිලා ඉන්නේ. ඔවුන්ගේ කැපවීම වගේම ඒ පිරිසට තම නිවසෙන් ලබාදෙන සහයෝගයට ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස මම මගේ ස්තූතිය පුදකර සිටිනවා.
කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර 110ක් සැපිරීම නිමත්තෙන් සකස් කළ ලාංජනය එම සංගමය විසින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට ඇතුළු සහය ප්‍රධාන කොමසාරිස්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්හට මෙහිදි පැලැන්දුහ.
මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරුන්, සහය මූලස්ථාන කොමසාරිස්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු බාලදක්ෂ නායකයන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.